සාමාන්‍ය පරීක්ෂා කිරීම

පරීක්ෂා කිරීම් සැලසුම් කර ඇත්තේ උපලේඛනගත රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සහ භාවිතය මත පනවා ඇති අවශ්‍යතා සමග රාජ්‍ය පාර්ශ්වයන්හි අනුකූලතාවය සත්‍යාපනය කිරීමට සහ ර.අ. සම්මුතියෙහි දක්වා ඇති බැඳීම් ප්‍රකාරව සාමාජික රටවල කර්මාන්ත ක්‍රියාකාරකම් නිවැරදිව ප්‍රකාශයට පත් කර ඇත්දැයි තහවුරු කර ගැනීමටය. පරීක්ෂා කිරීම් හි තීව්‍රතාව සහ වාර ගණන රඳා පවතිනුයේ නිපදවනු ලබන රසායනික ද්‍රව්‍ය (අවරෝහණ පිළිවලට - උපලේඛනය 1, උපලේඛනය 2, උපලේඛනය 3 හෝ DOC, උපලේඛනගත රසායනික ද්‍රව්‍ය බලන්න) මත විනා සාමාජික රටේ තත්ත්වය මත නොවේ. උපලේඛන 1 සහ 2 හි සඳහන් ද්‍රව්‍ය නිපදවන කර්මාන්තශාලා සඳහා නිපදවනු ලබන සියලු රසායනික ද්‍රව්‍යයන්ට වගකිව හැකිද යන්න හඳුනාගැනීමට සහ එම ප්‍රමාණයන් සාමාජික රාජ්‍යයන් ප්‍රකාශ කර ඇති ප්‍රමාණයන් හා අනුරූප වන්නේදැයි සොයා බලනු පිණිස ස්කන්ධ තුලාවක් පිලියෙල කරනු ලැබේ. තවද, උපලේඛන 2 සහ 3 සඳහන් ද්‍රව්‍ය නිපදවන කර්මාන්තශාලාවන්හි ප්‍රකාශ සහ සම්මුතියේ නීති රීතිවලට පටහැනිව උපලේඛන 1 හි රසායනික ද්‍රව්‍ය නිපදවන්නේදැයි සොයා බැලීම සඳහා පරීක්ෂා කිරීම් සිදු කරනු ලැබේ. උපලේඛන 3 සහ DOC, හි මූලික අරමුණු වනුයේ ප්‍රකාශනය පරීක්ෂා කිරීම සහ උපලේඛන 2 සහ උපලේඛන 1 හි නිෂ්පාදන ඒකක නොමැති බව සනාථ කරගැනීම වේ. උපලේඛන 2 හි සඳහන් රසායනික ද්‍රව්‍ය නිපදවන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කාලසීමාව පැය 96 ක් වන අතර උපලේඛන 3 හි සහ DOC, හි පරීක්ෂා කිරීම් සඳහා ගත හැකි උපරිම කාලය පැය 24 කි. උපලේඛන 1 හි සඳහන් රසායනික ද්‍රව්‍ය නිපදවන ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කාලසීමාවක් නොමැත.

අභියෝගාත්මක පරීක්ෂණ සහ වැරදි භාවිතය පිළිබඳ විමර්ශන

රසායනික අවි හෝ තහනම් කළ නිෂ්පාදන භාවිතය පිළිබඳ චෝදනා එල්ල කරනු ලැබුවහොත්, සම්මුතියට අනුව කරුණු සෙවීමේ පරීක්ෂණ කණ්ඩායමක් යෙදවිය හැක. නමුත් මේ දක්වා එබඳු පරීක්ෂණ කිසිවක් සිදු කර නොමැත. මෙම අභියෝගාත්මක පරීක්ෂණ සිදු කිරීමට ර.අ.ත.ස භාරගනු ලබන්නේ තවත් සාමාජික රටක් විසින් සිදුකළ ඉල්ලීමක් මත, ඉදිරිපත් කළ සාක්ෂිවල නිරවද්‍යතාව සහතික කිරීමෙන් පසුව පමණි. මෙය අයථා අන්දමින් භාවිතා කිරීම වැලැක්වීම සඳහා තුනෙන් දෙකක බහුතරයකින් එබඳු පරීක්ෂණයක් අවහිර කළ හැක. තවද ර.අ.ත. සංවිධානයට මැදිහත් විය හැක්කේ ද්විපාර්ශ්වික තානාපති විසඳුම් සදහා ප්‍රයත්න සාර්ථක නොවුවහොත් පමණි.